Saturday, January 15, 2022

මතක තොටුපළ



මතක තොටුපළින් සමුගෙන යන්නම්
රිදුනු සිත් පමණක් අරන්
මටම හිමි නැති සිතක විරහේ
කඳුළු බර ඇයි මේ තරම්

අමාවක බිඳ අහස් කුස සඳ
නැගෙන්නට පෙර පෙති දිහා
කුමුදිනිය නුඹ තරු පොකුරු මත
හාදු තවරා හිනැහුනා

මසිත තෙත්කළ සිහිල් පැන් පොද
සබඳ ඒ ඔබගේ සෙනේ
පිපාසිත හැම දෙතොලට ම නුඹ
කිමද දිය බිඳුවක් උනේ

ආදරය...!




දැන දැන
හිමි නොවන වග අවසන
හද ගැබුරින්ම පෙම්කල
මිනිසුන්....!
කොපමණක් නම්
වීද මේ මිහිමත

අහිමිවන්නට ඉඩ දී
අන් කූඩුවක සිර වී
කඳුළු දෑසින් බලා වුන්
මිනිසුන් බොහෝ විය
හිරු සඳු අතර සිර වුණ

මියෙන තුරු හද ගැබ
ඉතිරි කර විරහේ දුක
ඒ දුකින් ජීවත් වන
ඒ රිදුමින්ම සැනහෙන
උන් ම මිස කවුරු ද
අරුත් ගැන්වූයේ
ආදරය...!

Thursday, July 16, 2020

යශෝදරා



මතු බුදු වන තුරු ම 
සිදුහත් හිමි සඳට
මඟට පාවඩ එලා අතුරන
හිත රිදෙන බිඳෙන තැන්
වසා සඟවා තනිව
දුක් ගැහැට කම්කටොලු ඉවසන...

හිරුට කලියෙන් ඇහැර
කලට වේලට උයා
හිමිට රස බත් පත බැඳ දෙන
රෙදි වේලා නවන
හැළි වළං සෝදන
මුළුතැන්ගෙයි කොනක තනිවුණ...

නියත විවරණ දෙන
ඔෆීසියෙ මිතුරනගෙ
හවස මධු සාදය ද ඉවසන
නුවර එළි ෆැක්ටරියෙ
සති අන්තෙ පුරාවට
තියෙන වැඩමුළුවලට ඉඩදෙන

දරුවනගෙ පාසලේ
හවස පන්තියේ වැඩ
කිසිවකුත් මඟනොහැර කරවන
මහාමායාවගේ 
ප්‍රෙශර් වැඩිවෙනදාට
තකහනියෙ  වෙද ගෙදර ගෙනයන

ඉඩ ලැබෙන නිමේශෙක
කන්නාඩියක් අසළ
හිස - පීරා ගොතා සැරසෙන
මඟ හැරුණු ජීවිතේ 
එක ම එක දිනක්වත්
තියේවි ද නුඹට නුඹ හමුවුණ...


Monday, June 29, 2020

හැකිය මට ඉන්න


ඉඳහිටක දැනුනාට
මගෙ හිතට මහම මහ තනිකමක්
ලේ නහර කිති කවා
ඇට මිදුළු පුරා විඳි හුරුකමක්
සඳ නොමැති මහ රෑක
කණමැදිරි එලිය බිදකින් උනත්
හැකිය මට ඉන්න -
නුඹ හැර දමා යන්නම ගියත්

හඬන විට දෙනෙතකට
කඳුළු පිසිනට අතක් ලග නැතත්
හිත නොමැත ඉගිලෙන්න,
හුරු පුරුදු සොදුරු අහසක් උනත්
මග දෙපස සෙනග මැද
නුහුරු හිස් කමක් දැනුනත් නැතත්
හැකිය මට ඉන්න -
කළුවරම රැයක තනියම උනත්

හිත බිඳෙන යළි හැදෙන -
පණ අදින ආදරය ඉව කරන්
නොනැවතී යන්න නුඹ,
නුඹට හුරු කූඩුවට මග සොයන්
උණුසුම් ව නිදියන්න
රළුම රළු උරහිසක තෙතු පියන්
හැකිය මට ඉන්න -
නුඹ නැවත එන්නේම නැති උනත්
 

Wednesday, June 24, 2020

අම්මා

වරිග හතක් නිවන් යන්න
හිස මුඩු කර දන් දුන් පුතු
පහල කොටුවේ එකිත් එක්ක
දරුවෝ හතක් හැදුවේ...
මුවින් නොබැණ දුක් විඳ ගෙන
උන් කරදඬු වැඩුවේ
උඹ ම තමයි අම්මේ...

නොකා නොබී ශිල්ප පොවා
උපාධි ගෙන ගම ආ දූ
කුඩු සුමනෙගෙ පතිනිය වී
ගෙදර බින්න බැස්සේ...
නින්දා වැස්සේ තෙමි තෙමි
බෑනන්ඩිගෙ සුව බලන්න
සිර ගෙදරට වැඩියේ
උඹම තමයි අම්මේ...

ලුණු මදි වී බත ඇල් වී
මදන මතින් තිරිහන් වී
පය වරදින වරක් ගානේ
හිරි ඇර ගත් සෝමේ...
ගහෙන් වැටී ඔත්පල වී
ඇඳට වැටුනු වෙලේ ඉදන්
තෙල් සාත්තු කෙරුවේ
උඹම තමයි අම්මේ...

පෝය දාට වැට අයිනේ
දිරපු කොස් මුලේ ඉඳගෙන
යකඩ කටින් යාන්තමට
බණ අහනා අම්මේ...
මේ සසරෙන් එතෙර වෙන්න
උඹට තවත් පිං මොකටද
හිත හදාන කදුලු පිහන්
මෙහෙට වරෙන් අම්මේ...!

Friday, May 22, 2020

කවියෙකුට පෙම් බැඳ...!


නින්දා කළල් ගොහොරුව
කර වටක් ගිලී මියැදෙන මට
කුමකට ද?
නුඹේ සියුමැලි කවි පද
සිත දවන.....

නෙලාගෙන සියපත
මඟ බලා සිටි මට
නුඹේ සුසුමට වැඩි
බරක් තව කොයි වෙද?

පෝරුවට කළියෙන්
යහනට පා තැබූ මට
සවි නෑ ඇවිද යන්නට
තව දුර...
ඉරී පොඩි වී ගිය
පෙති බරයි දැන් නටුවට

තාරුකා එළියෙන්
මග සොයන්නට තබා ඉඩ
නුඹම  මිස කවුරුද?
නිවා දැමුවේ පහන් සිල

රස කවි පද අතර
යොදා උපමා රූපක
කෙසේ සඟවා තබමිද?
ජීවිතේ කළුවර
කඳුළු වල සීතල

Wednesday, May 13, 2020

මිතුර



මල් පෙති ලිහෙන පරවෙන මහවැලි ඉවුරේ
මළ හිරු නිවුන හන්තානේ මද අදුරේ
හිත් ඉරිතලන ඉකිලන මතකය අතරේ
සුව නින්දක නිදන මා පෙම්බර මිතුරේ

තරුකැට වගේ දිදුලණ නෙත් යුග ගානේ
මල්වර හීන ගිලිහෙන මොහොතක් ගානේ
දිරියෙන් ජීවිතේ හැදිනූ මිතුරානේ
සන්සාරේ දුකයි අත් ගිලිහෙනවානේ...!

නැති වැඩි කතා නුඹෙ වෙහෙසුනු මුව මඩල
අදටත් පෙනේ හමුවන මිනිසුන් අතර
මහ ගිරි කුළක මුදුනක තැබු පා ලකුණ
තවමත් සොයමි විසිරුණු මතකය අතර

අන්තිම වතාවෙදි හමු වුණ සැදෑවක
යන්තම් වගේ මතකයි හඩ කතාවක
කවියක පොතක විසිරුණු දුම් වලල්ලක
අමුණනු කෙළෙස මිතුරේ ජීවිතේ දුක

ගිලිහුණු සිහිනයක කදුලක තෙත දැනෙන
අත දිග නැති දුරින් ඉද දුක සැප අසන
දුවෙකුට සුවද දෙන පෙති විදහා නැගෙන
පියෙකුගෙ මතකයත් තරුවකි මග කියන

Thursday, January 30, 2020

විමලේ.......


වැඩ ඇරී ගෙදර ආවම
තේ එකක් ළඟට ගේන්න
හිසරදේ හැදී නිදද්දි
පැනඩෝල් දෙකක් පොවන්න

මඟ හැරුණු දේ බෝමයි
මට තිබුණ ටිකක් හිතන්න...

කොයි තරම් පැන් ලූවත්
මල් පිපෙන් නැති පඳුරක
අපි අහපු අර කතාව
සැබෑ වේ යැයි සිතුණි ද...?

සුදු පැහැ ගැණුනු කෙස් රොද
සසර මඟ සිහි කෙරුණි ද...?
උදුරපු පණු දතක්වත්
කළකිරීමක් දුන්න ද...?

වැඩ වැඩියි ඔලුව විකාර
වචන වරදිනව නිතරම
ඒ උණත් විමලෙ තාමත්
උඹ නිසයි පපුව ගැහෙන්නෙ

ජීවිතේ දුර්ග විමානෙ
බෑ නොකිය කන්ද නගින්න
ආයෙමත් එන්න විමලේ
සාරියේ කට්ට ගහන්න....

Saturday, September 14, 2019

ජීවිතය


තාමත් තරුණ හිත යට
හිමින් ගොණු කර තියා
හසරැල්ලක පහස....
දල්වාගෙන නෙත් පහන
බලා ගෙන ඉඳ ඇඳ ළඟ
කළුවරට ඉඩ දී නුඹ යයි
පුතු අතින් එල්ලාගෙන....
නොහලා එකම කඳුලක්
මට පෙනෙන්නට..
 
හැමදාටම නුඹ ළඟ - ගොළුයි මම
කියා ගන්නට බැරිව
සිව් වසකින්;
තිස් වසරකට ගොණු කල
මගේ කවි...
 
ගෙන දී වේදනා..
හිස යට වැඩෙන මස් දලු
තෙරපන විට නහර....
නුඹ වුවණ - පුතු මදහස
සිහින් එළියක් පෙන්වයි
කළුවරම මේ ඉම තුළ.

සසර මඟ වල් වැද සිටි මට...
නුඹ දෙපල මිස
කවුරුන්ද.....?
පෙන්වූයේ පහන් ටැඹ
 
හැමදාම හවසට
නුඹ ගිය පසු
ඇවිදින් ඇඳ ළඟට
තනි රකියි මරණය
කතා කරයි - යන්න...
වේදනා නැති ලොවකට
 
සිහිව....
හෙට උදේ ඇඳ ළඟට එන නුඹ නෙත
විදිමි මේ වේදනා තව තව
නැත හඬන්නට කාරන
නුඹ වුවණ - පුතු මදහස
සිහින් එළියක් පෙන්වයි
කළුවරම මේ ඉම තුළ.

Thursday, May 16, 2019

පාඩමක් ඇත තව, පොත පතේ ලියන්නට බැරි වුන

        
 


















 
ඇති බොහෝ ඇසූ පිරූ තැන් - කියවූ පොත් නොහැර එකක්
මිනිසුන් බොහොමයක් නුඹ වන්
මහමග පසෙක ඇති - පුංචි පඳුරක් දැක
මවා ගෙන මහ ගසක්
සිතා අහුරාවි යැයි මඟ
වනසනු සිතා එය
හැපෙයි ඒ මත...
 
පුංචිම කුහුඹුවා - දැක එය
සිනාසී පිළිගෙන
යයි ඒ පඳුර මඟහැර
උගෙ ගමන...
 
එන්න එක දවසක
අපි යමු අතහැර දමා - මේ සැම...
එක් පාඩමක් ඇත තව ඉගෙනගන්නට...
පොත පතේ ලියන්නට බැරි වුන.
 
ඇල දොල ගහකොළ
මදනළ
විතරමයි දන්නේ එය...
ඉගෙන ගන්නා තුරු එය
සම්පූර්ණ නෑ ජීවිතය..