Showing posts with label දුක. Show all posts
Showing posts with label දුක. Show all posts

Saturday, April 6, 2024

ඇවිදින මංතීරුවේ නාඳුනන හිතවතිය


ඩා බිඳු නැඟෙන ගත වෙහෙසන හිමිදිරියේ
හිනැහෙන අත වනන නුපුරුදු නෙතු අතරේ
දහසක් ප්‍රශ්න පුරවාගෙන හිත් පොඩියේ
ඔරවන් බිම බලන් ඇවිදින හිතවතියේ

හිමිගෙන් කරදරද හිත රිදවාගෙනද 
දරුවන් නිසා ඔළුවට නිවනක් නැතිද
නැතිනම් ලෙඩ දුකක් හින්දා තැවුලෙන්ද
තවමත් තනිකඩ ද තනිකම රිදවා ද

සීනියි ප්‍රෙශර් තව ලෙඩ කොතෙකුත් එක්ක 
ප්‍රශ්න පුරෝගෙන ඔළු වල පොර බැද්ද 
පැයකට දෙකට මග හැර ඒ දුක් කන්ද
හවසට බාර් වල කොපමණ උන් වෙත්ද

මිහිදුම් සළු ඔතන හිරු රැස් සිපගන්න
දොල ලඟ මුමුනනා කවියට කන් දෙන්න
මට හෙට උදෙත් ඇවිදින්නට දිරි දෙන්න
මිහිරිය දුක දරන් සැරයක් හිනැහෙන්න

- සුදාර මුතුහෙට්ටි (2024.03)

Wednesday, June 24, 2020

අම්මා

වරිග හතක් නිවන් යන්න
හිස මුඩු කර දන් දුන් පුතු
පහල කොටුවේ එකිත් එක්ක
දරුවෝ හතක් හැදුවේ...
මුවින් නොබැණ දුක් විඳ ගෙන
උන් කරදඬු වැඩුවේ
උඹ ම තමයි අම්මේ...

නොකා නොබී ශිල්ප පොවා
උපාධි ගෙන ගම ආ දූ
කුඩු සුමනෙගෙ පතිනිය වී
ගෙදර බින්න බැස්සේ...
නින්දා වැස්සේ තෙමි තෙමි
බෑනන්ඩිගෙ සුව බලන්න
සිර ගෙදරට වැඩියේ
උඹම තමයි අම්මේ...

ලුණු මදි වී බත ඇල් වී
මදන මතින් තිරිහන් වී
පය වරදින වරක් ගානේ
හිරි ඇර ගත් සෝමේ...
ගහෙන් වැටී ඔත්පල වී
ඇඳට වැටුනු වෙලේ ඉදන්
තෙල් සාත්තු කෙරුවේ
උඹම තමයි අම්මේ...

පෝය දාට වැට අයිනේ
දිරපු කොස් මුලේ ඉඳගෙන
යකඩ කටින් යාන්තමට
බණ අහනා අම්මේ...
මේ සසරෙන් එතෙර වෙන්න
උඹට තවත් පිං මොකටද
හිත හදාන කදුලු පිහන්
මෙහෙට වරෙන් අම්මේ...!

Friday, May 22, 2020

කවියෙකුට පෙම් බැඳ...!


නින්දා කළල් ගොහොරුව
කර වටක් ගිලී මියැදෙන මට
කුමකට ද?
නුඹේ සියුමැලි කවි පද
සිත දවන.....

නෙලාගෙන සියපත
මඟ බලා සිටි මට
නුඹේ සුසුමට වැඩි
බරක් තව කොයි වෙද?

පෝරුවට කළියෙන්
යහනට පා තැබූ මට
සවි නෑ ඇවිද යන්නට
තව දුර...
ඉරී පොඩි වී ගිය
පෙති බරයි දැන් නටුවට

තාරුකා එළියෙන්
මග සොයන්නට තබා ඉඩ
නුඹම  මිස කවුරුද?
නිවා දැමුවේ පහන් සිල

රස කවි පද අතර
යොදා උපමා රූපක
කෙසේ සඟවා තබමිද?
ජීවිතේ කළුවර
කඳුළු වල සීතල

Thursday, January 30, 2020

විමලේ.......


වැඩ ඇරී ගෙදර ආවම
තේ එකක් ළඟට ගේන්න
හිසරදේ හැදී නිදද්දි
පැනඩෝල් දෙකක් පොවන්න

මඟ හැරුණු දේ බෝමයි
මට තිබුණ ටිකක් හිතන්න...

කොයි තරම් පැන් ලූවත්
මල් පිපෙන් නැති පඳුරක
අපි අහපු අර කතාව
සැබෑ වේ යැයි සිතුණි ද...?

සුදු පැහැ ගැණුනු කෙස් රොද
සසර මඟ සිහි කෙරුණි ද...?
උදුරපු පණු දතක්වත්
කළකිරීමක් දුන්න ද...?

වැඩ වැඩියි ඔලුව විකාර
වචන වරදිනව නිතරම
ඒ උණත් විමලෙ තාමත්
උඹ නිසයි පපුව ගැහෙන්නෙ

ජීවිතේ දුර්ග විමානෙ
බෑ නොකිය කන්ද නගින්න
ආයෙමත් එන්න විමලේ
සාරියේ කට්ට ගහන්න....

Friday, June 4, 2010

නික්මීම...



















ඉතින් දොර හරින්න
එපා නුඹ හඬන්න
යළි දිනක හමුවන්න
එක් වරක් පතන්න

රට රකිනු පිණිස යන
සෙබලකුදු නොවේ මම
පුතුට සුබ හෙටට මං
තනන්නකු නොවේ මම
නුඹට රන් රුවන් මිණි
ගෙනෙන්නෙක් නොවේ මම

වරක් ගිලිහී බිඳුණු
අතීතේ මතක මැද
කරක් අඳුරේ ගිලී
වසන්තය නුදුටු මට
මෙතෙක් දුර ගෙවන්නට
පහන් සර වූ නුඹට
ඉතින් පිටුපා යන්න
සොඳුර අවසර දෙන්න

දිනක මිනිසකු විලස
දෙපා ඔසවා බිමේ
නුඹගෙ සිහිනය සිතට
බරක් නොමවන දිනේ
තැලෙන පොඩිවෙන මසිත
තලා විසිකර එමී
එදින නුඹ හමු වුනොත්
එවන් සතුටක් නොවේ

Monday, January 25, 2010

සිහින...


මියැදෙන තරමටම
උපදින සිහින අපමණ
කඳුලැළි පිස දෙනෙත
නවමු හැඟුමන් පුබුදන
 
අනෙක හැඟුමින් ගැබ්බර
එහැම සිහිනයකම
යටි සිත ඉරි තළන
රිදුම් දෙන හැඟුමක් විය.
 
අදට වැඩි කළුවර
හෙටක තනිකර මගෙ සිත
දුරක ගිය රහසෙම
සොඳුරු හසරැල්ලකි එය
 
ගලපනු නොහැකි කවි පද
සකසා පිළිසකර කර
මිහිරි කවියක් නිමැවූ
සොඳුරු වූ ගැහැණිය ඇය
 
එළිවැට බිඳුණු කවියට
තනි රකිණු රිසියෙන
තවමත් සොහොන් පාමුල
තබා එමි මගෙ සිත
 
පසුදින දකිමි
තැළුණු පොඩිවුණු සිත
හඬණු කුමටද
නුඹේ පා සලකුණු දැක
 

Wednesday, January 6, 2010

පරණ මල


ලස්සන මල් ගැනම නිතරම කවි ලියපු
අත්තෙන් අත්ත පැන මල් වල සුව විඳපු
තිත්තම මලක තුඩ පැටලී තටු සිඳුණු
සෙල්ලක්කාර බමරෙකි මම නුඹ හැඳිණූ
 
ලස්සන මල් පිපුණු මහවැලි ගං ඉවුරේ
හන්තානේ හැපී හිරු මිය ගිය අඳුරේ
පෙති විහිදුවාගෙන මා ලඟ උන් මිහිරේ
අද නුඹ දුටුව විට හඳුනන්නද කෙලෙසේ
 
අතකින් එල්ලගෙන පොඩි පුතු කටු ගැසුණ
පසෙකින් හිමි සඳය සසරේ දුක කියන
අහසේ සරුන්ගලයකි අතකින් මිදුණ
දුහුවිලි තට්ට්ටු යට හුරු සුවඳම රැඳුණ
 
රෑ තරු කැට අතර රැඳි මල් සුවඳ මරා
රුව ගුණ දොවා ගෙන එය පොඩි පුතුට පොවා
මම සුව විඳි යහන මත පොඩි පුතුව හොවා
තව පරපුරක් වෙනුවෙන් නුඹ දියව ගියා
 
කෙළිලොල් වියේ සරසවියේ වීදි දිගේ
තහනම් ගසේ ගෙඩි කෑ මුත් රසට රසේ
මරණ තුනක් මැද නොමැරී මැරෙන මඟේ
අත ලෙව කන්ටවත් දඬු බෑ මොටද නගේ
 

Monday, August 10, 2009

ආයෙ හෙට එන්නම් මම....
















එපා ගලවන්න...
උඹ දුරින් ඉඳපන්
මට එපා ඔය කිසිවක්.

අමුතු හැඟීමක් නෑ මට
උඹ ගැන.

රාගයක්වත්, ආදරයක්වත්
අඩු තරමේ ආශාවක්වත්
දැනෙන් නෑ මට
ඔය හෙළු කය ලඟ.

ඉඳා මේ දාහ
කන්න දීපන් පොඩි උන්ට.

ආයෙ හෙට එන්නම් මම...

Sunday, July 26, 2009

මම මලක් තමයි














මම මලක් තමයි
නුඹ කී දේ සැබැයි.

සුවඳ විඳ ඇති තරමට
ඉවත ලූ පෙති පොඩි කර.
මම මලක් තමයි.

නුඹේ නමටම පෙම් කර
තවම හඬනට නොහැකිව
පොලව පස් යට මියදෙන
මම මලක් තමයි.
නුඹ කී දේ සැබැයි.

අන් මල්වල සුවඳ
විඳ විඳ පිනන නුඹ දැක
තවම කඳුලක් නොහෙළුව
මම මලක් තමයි.

හිත රිදවුණු විටෙක
මා අසලට වී හඬන
මා නොහඬන කරුණු විමසන
නුඹට....
නුඹට වෙර නොබඳින
මම මලක් තමයි.
නුඹ කී දේ සැබැයි.