Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts

Saturday, April 6, 2024

ඇවිදින මංතීරුවේ නාඳුනන හිතවතිය


ඩා බිඳු නැඟෙන ගත වෙහෙසන හිමිදිරියේ
හිනැහෙන අත වනන නුපුරුදු නෙතු අතරේ
දහසක් ප්‍රශ්න පුරවාගෙන හිත් පොඩියේ
ඔරවන් බිම බලන් ඇවිදින හිතවතියේ

හිමිගෙන් කරදරද හිත රිදවාගෙනද 
දරුවන් නිසා ඔළුවට නිවනක් නැතිද
නැතිනම් ලෙඩ දුකක් හින්දා තැවුලෙන්ද
තවමත් තනිකඩ ද තනිකම රිදවා ද

සීනියි ප්‍රෙශර් තව ලෙඩ කොතෙකුත් එක්ක 
ප්‍රශ්න පුරෝගෙන ඔළු වල පොර බැද්ද 
පැයකට දෙකට මග හැර ඒ දුක් කන්ද
හවසට බාර් වල කොපමණ උන් වෙත්ද

මිහිදුම් සළු ඔතන හිරු රැස් සිපගන්න
දොල ලඟ මුමුනනා කවියට කන් දෙන්න
මට හෙට උදෙත් ඇවිදින්නට දිරි දෙන්න
මිහිරිය දුක දරන් සැරයක් හිනැහෙන්න

- සුදාර මුතුහෙට්ටි (2024.03)

Monday, June 29, 2020

හැකිය මට ඉන්න


ඉඳහිටක දැනුනාට
මගෙ හිතට මහම මහ තනිකමක්
ලේ නහර කිති කවා
ඇට මිදුළු පුරා විඳි හුරුකමක්
සඳ නොමැති මහ රෑක
කණමැදිරි එලිය බිදකින් උනත්
හැකිය මට ඉන්න -
නුඹ හැර දමා යන්නම ගියත්

හඬන විට දෙනෙතකට
කඳුළු පිසිනට අතක් ලග නැතත්
හිත නොමැත ඉගිලෙන්න,
හුරු පුරුදු සොදුරු අහසක් උනත්
මග දෙපස සෙනග මැද
නුහුරු හිස් කමක් දැනුනත් නැතත්
හැකිය මට ඉන්න -
කළුවරම රැයක තනියම උනත්

හිත බිඳෙන යළි හැදෙන -
පණ අදින ආදරය ඉව කරන්
නොනැවතී යන්න නුඹ,
නුඹට හුරු කූඩුවට මග සොයන්
උණුසුම් ව නිදියන්න
රළුම රළු උරහිසක තෙතු පියන්
හැකිය මට ඉන්න -
නුඹ නැවත එන්නේම නැති උනත්
 

Friday, May 22, 2020

කවියෙකුට පෙම් බැඳ...!


නින්දා කළල් ගොහොරුව
කර වටක් ගිලී මියැදෙන මට
කුමකට ද?
නුඹේ සියුමැලි කවි පද
සිත දවන.....

නෙලාගෙන සියපත
මඟ බලා සිටි මට
නුඹේ සුසුමට වැඩි
බරක් තව කොයි වෙද?

පෝරුවට කළියෙන්
යහනට පා තැබූ මට
සවි නෑ ඇවිද යන්නට
තව දුර...
ඉරී පොඩි වී ගිය
පෙති බරයි දැන් නටුවට

තාරුකා එළියෙන්
මග සොයන්නට තබා ඉඩ
නුඹම  මිස කවුරුද?
නිවා දැමුවේ පහන් සිල

රස කවි පද අතර
යොදා උපමා රූපක
කෙසේ සඟවා තබමිද?
ජීවිතේ කළුවර
කඳුළු වල සීතල

Saturday, August 25, 2018

අසම්මත පෙම


                    අසම්මත වෙන්න ඇති
සම්මතය බිඳ දමා
පටලවා ගත් නිසා අපේ අත්.....
 
ඒ වුනත්...

සම්මතය රැකගන්න
බිඳගත්තෙ
කවුරුන් ද
සෙනේ සිත්.....

 

Tuesday, March 10, 2015

මිරිඟු පෙම


















 
සිත් පිල්කඩ ඔබ නැවතී 
සිනාසෙයි දොඩමළු වෙයි.
ඔබ එනතුරු 
දොරගුළු හැර 
පිල් දොර ලඟ 
බලා සිටි සිතට දැන් වෙහෙසයි.

ඇත්තමයි 
මට තිබුණෙ 
ඔබ ඇවිත් තට්ටු කරනා තුරුම 
දොර නෑර ඉඳින්නයි.

Monday, September 6, 2010

වෙසඟන....

  

මතකය අතර සිරවී....
එබෙයි යළි යළි - පතුලටම සිත....
 
පොලවේ ගසා - පොඩිකර
කුනු ගොඩට - විසිකර
තැබූවෙමි ගිණි කූරක්
නිම කරන්නට - මේ කරුමය...
 
අනේ ආයෙත් ඇවිදින්...
මගේ යහනට - නිදන බිරිඳට නොපෙනී
අත ගායි හිස....
 
එක දවසක වෙනසකට
අතිනුත් මුදල් දී
සින්නක්කරම
ගත් හැටි
මම මේ දවන මතකය....
 

Monday, January 25, 2010

සිහින...


මියැදෙන තරමටම
උපදින සිහින අපමණ
කඳුලැළි පිස දෙනෙත
නවමු හැඟුමන් පුබුදන
 
අනෙක හැඟුමින් ගැබ්බර
එහැම සිහිනයකම
යටි සිත ඉරි තළන
රිදුම් දෙන හැඟුමක් විය.
 
අදට වැඩි කළුවර
හෙටක තනිකර මගෙ සිත
දුරක ගිය රහසෙම
සොඳුරු හසරැල්ලකි එය
 
ගලපනු නොහැකි කවි පද
සකසා පිළිසකර කර
මිහිරි කවියක් නිමැවූ
සොඳුරු වූ ගැහැණිය ඇය
 
එළිවැට බිඳුණු කවියට
තනි රකිණු රිසියෙන
තවමත් සොහොන් පාමුල
තබා එමි මගෙ සිත
 
පසුදින දකිමි
තැළුණු පොඩිවුණු සිත
හඬණු කුමටද
නුඹේ පා සලකුණු දැක
 

Wednesday, January 6, 2010

පරණ මල


ලස්සන මල් ගැනම නිතරම කවි ලියපු
අත්තෙන් අත්ත පැන මල් වල සුව විඳපු
තිත්තම මලක තුඩ පැටලී තටු සිඳුණු
සෙල්ලක්කාර බමරෙකි මම නුඹ හැඳිණූ
 
ලස්සන මල් පිපුණු මහවැලි ගං ඉවුරේ
හන්තානේ හැපී හිරු මිය ගිය අඳුරේ
පෙති විහිදුවාගෙන මා ලඟ උන් මිහිරේ
අද නුඹ දුටුව විට හඳුනන්නද කෙලෙසේ
 
අතකින් එල්ලගෙන පොඩි පුතු කටු ගැසුණ
පසෙකින් හිමි සඳය සසරේ දුක කියන
අහසේ සරුන්ගලයකි අතකින් මිදුණ
දුහුවිලි තට්ට්ටු යට හුරු සුවඳම රැඳුණ
 
රෑ තරු කැට අතර රැඳි මල් සුවඳ මරා
රුව ගුණ දොවා ගෙන එය පොඩි පුතුට පොවා
මම සුව විඳි යහන මත පොඩි පුතුව හොවා
තව පරපුරක් වෙනුවෙන් නුඹ දියව ගියා
 
කෙළිලොල් වියේ සරසවියේ වීදි දිගේ
තහනම් ගසේ ගෙඩි කෑ මුත් රසට රසේ
මරණ තුනක් මැද නොමැරී මැරෙන මඟේ
අත ලෙව කන්ටවත් දඬු බෑ මොටද නගේ
 

Sunday, July 26, 2009

මම මලක් තමයි














මම මලක් තමයි
නුඹ කී දේ සැබැයි.

සුවඳ විඳ ඇති තරමට
ඉවත ලූ පෙති පොඩි කර.
මම මලක් තමයි.

නුඹේ නමටම පෙම් කර
තවම හඬනට නොහැකිව
පොලව පස් යට මියදෙන
මම මලක් තමයි.
නුඹ කී දේ සැබැයි.

අන් මල්වල සුවඳ
විඳ විඳ පිනන නුඹ දැක
තවම කඳුලක් නොහෙළුව
මම මලක් තමයි.

හිත රිදවුණු විටෙක
මා අසලට වී හඬන
මා නොහඬන කරුණු විමසන
නුඹට....
නුඹට වෙර නොබඳින
මම මලක් තමයි.
නුඹ කී දේ සැබැයි.

Thursday, June 18, 2009

මධුසමය...
















දුහුල් තිරෙන් එබී
මුවෙක් වගේ බියෙන්
බලන්නෙපා සඳේ
මගේ දිහා ඉතින්

නොදන්න බව සැබැයි
අප අප ගැන සොඳින්
දෙමාපියන් සිතුම්
ඉටුකළ උන් මිසක්

මඟුල් මුදුව අතේ
පැලඳුව මුත් ළඳේ
නුඹ නිදහස් තවත්
කිරිල්ලියක් වගේ

ආගන්තුක සිතක්
හඳුනන්නට සොඳින්
කාලය තව බොහෝ
අවශ්‍ය බව දනිම්

එහා කොනේ ඇඳේ
සැතපෙන්නම් මමත්
ඉවත බලන් වුවත්
නිදන්න නුඹ තුටින්

Wednesday, May 6, 2009

බිරිඳ...











නුඹ නැති විට ලඟ
නුඹ නැති වග දැන
නිදහස-පාළුව දැනේ
මුසුව මට....

ඒ නිදහස විඳ
මිටින් මුදාහල
විහඟකු විලසට
පියඹනු බෑ මට...

නුඹ නැති පාළුව
සිතේ තුරුළු කොට
ගුලි වී යහනත
නුඹ හෙට එන තුරු
ඇඟිලි ගනිමි මම

Tuesday, May 5, 2009

නිළියකට පෙම් බැඳ....









තරු වැටෙන කොට බිම
ගිලිහී අහස් වියනෙන්
සඳ හිටියා නිහඬවම
සිතමින්
'තව තරු කෙතරම් තියේද මට...!'

සඳ දන්නෙ නෑ
ඒ හැම එක තරුවක්ම
කොයිතරම් නම් ආදරෙයිද සඳට...

අන්සතු නුඹ...









නුඹ අන්සතු වුවහොත්
මා ලෝකයට වැඩ බැරි මිනිසෙකු වනු ඇත.

නුඹ මා සතු වූවා නම්
මා ලෝකයට මෝඩයෙකු වනු ඇත.

මා වැඩබැරි මිනිසෙකු වුවද
මෝඩයෙකු වුවද
නුඹ මට හිමි නොවනු ඇත

මෝඩයෙකු නොවී මට නුඹ රැක ගත හැකි මගක්
ඇත්තෙම නැද්ද?

Friday, April 24, 2009

මුදු පළඳවන සුබ මොහොතේදී ය....












නාඳුනන මා හිමි සඳ
නුඹට නොකියා බැරිය මේ වත....

අද රෑ යහන අභිමුව
සිතින් ඔහු රුව මවමින
ඔබ සමඟ යෙදෙමි රමණය....

සුබ ලකුණු නැති යහනත
හඬන්නට නම් බෑ මට....

නුඹටම හිමි ඉඩක් නැති
නුඹට එනමුත් ඉඩ ඇති
පා ලකුණු රැඳි යහනට
නගින්නට සිත් දේ නම්
පළඳන්න ඔය මුදුව මා අත....

Saturday, April 18, 2009

කඳුළු තොටුපළ












කඳුළු තොටුපළින් සමුගෙන යන්නම් 
බිඳුණු සිත පමණක් අරන් 
මටම හිමිනැති සිතක විරහේ 
කඳුළු බර ඇයි මේ තරම්

මසිත තෙත් කළ සිහිල් දිය බිඳ 
සබඳ ඒ ඔබගේ සෙනේ 
පිපාසිත හැම දෙතොලටම නුඹ 
කිමද දිය බිඳුවක් වුණේ

අමාවක සිඳ අහස් කුස සඳ 
නැගෙන්නට පෙර පෙති ලිහා 
කුමුදිනිය නුඹ තරු කොපුල් මත 
හාදු තවරා හිනැහුණා

Saturday, April 11, 2009

ආදරයේ ඇදුරුතුමිය


අ' යනු 'ආ' යනු 
කියනු වෙනුවට 
සඥ්ඥක මූර්ධඡ අතරේ 
සිර කෙරුවේ ඇයි මගෙ සිත