Thursday, September 9, 2010

පුතු.......


අහස උසට
නැගුන පැතුම්
එකින් එකට
බිඳෙන කලට
දින දින
දෙපසට යන අප
එකට තබා
බඳින රැහැන
 

Monday, September 6, 2010

වෙසඟන....

  

මතකය අතර සිරවී....
එබෙයි යළි යළි - පතුලටම සිත....
 
පොලවේ ගසා - පොඩිකර
කුනු ගොඩට - විසිකර
තැබූවෙමි ගිණි කූරක්
නිම කරන්නට - මේ කරුමය...
 
අනේ ආයෙත් ඇවිදින්...
මගේ යහනට - නිදන බිරිඳට නොපෙනී
අත ගායි හිස....
 
එක දවසක වෙනසකට
අතිනුත් මුදල් දී
සින්නක්කරම
ගත් හැටි
මම මේ දවන මතකය....
 

Saturday, August 28, 2010

පුවත් කියන්නී....


ගලවා තනපට
හිමිහිට....
නොදැනී බිරිඳට
රහසෙම....
සුව දුන් සොඳුරිය...

ලොව දහසක් තතු
කියවන
කඩිසර.....
නුඹෙ වදනක්වත් නොඇසෙන
රඟ මට...

කෝ නුඹ අද...
විමසයි නෙත...
 
රහසකි තවමත්
සඟවන බිරිඳට එය.....

වෙනදා රස රෑ පුවත්
අපුල වූ රඟ...
 

Monday, August 23, 2010

කූඩුව


අනූශාට කියන්න තරහා නම් නෑ මම
ඉස්සර වගෙ ආදරයෙන් කතා නොකෙරුවට
නුඹත් වැරදි කළා තමයි.
මමත් නිවැරදී ම නොවෙයි.
ඒත් ඉතින් හැළුනු කිරට හඬා ඵලක් නෑ.

මමත් නුඹ වගේම තමයි.
හිත පුරවන් මහා පැතුම්
තනා ගත්තෙ මේ කූඩුව.
යන එන කන බොන හැමතැන
හිස තියාන ඒ කූඩුව
මම යන්නේ ගමන් බිමන්

අද බලද්දී ජීවිතයම
මහා බරක්.

අද නුඹ ලඟ තමයි අනූ
ඉස්සෙල්ලම
බිමින් තිබ්බෙ මම ඒ බර.

ඒකයි ලොකු සැහැල්ලුවක්
වගේ දැනුනෙ මගේ සිතට.

ඉස්සර අපි අත් බැඳගෙන
මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලයෙ
වගේ පෙමක් නොදැනුනාට
මට දැනුණා සැහැල්ලුවක්.

ඒ උණාට අද හවසට
මම යන්නේ
හිත පුරවන් තවත් බරක්.

Saturday, August 21, 2010

අවසරයි..!



















අවසරයි..!

ඉතින් පියඹා යන්න
තටු ලැබුණු
සමනළයකු විලස.

හැර දමා
හිමි නොමැති
බිදී ගිය
මේ නිවස.

හැර දමා
දුර ඇදෙන
සැම විලස...
තටු රිදුණු
පසු දිනක
වැටී මිය ඇදෙන්නට
මට ඉඩක් තියේවිද
නුඹ අසල...

Friday, June 4, 2010

නික්මීම...



















ඉතින් දොර හරින්න
එපා නුඹ හඬන්න
යළි දිනක හමුවන්න
එක් වරක් පතන්න

රට රකිනු පිණිස යන
සෙබලකුදු නොවේ මම
පුතුට සුබ හෙටට මං
තනන්නකු නොවේ මම
නුඹට රන් රුවන් මිණි
ගෙනෙන්නෙක් නොවේ මම

වරක් ගිලිහී බිඳුණු
අතීතේ මතක මැද
කරක් අඳුරේ ගිලී
වසන්තය නුදුටු මට
මෙතෙක් දුර ගෙවන්නට
පහන් සර වූ නුඹට
ඉතින් පිටුපා යන්න
සොඳුර අවසර දෙන්න

දිනක මිනිසකු විලස
දෙපා ඔසවා බිමේ
නුඹගෙ සිහිනය සිතට
බරක් නොමවන දිනේ
තැලෙන පොඩිවෙන මසිත
තලා විසිකර එමී
එදින නුඹ හමු වුනොත්
එවන් සතුටක් නොවේ

Thursday, March 25, 2010

සෙබළ යනු යුධ පිටියට














සෙබළ යනු යුධ පිටියට
නසනු රුපු බල වෙනුවට
රජුගෙ රජකම රැකුමට
සෙබළ යනු යුධ පිටියට

බඳිනු මුඛ හඬ දෙන දන
නසනු එයිනුත් බැරි සඳ
රජුගෙ පෙලහර මිස වෙන
කිසිවකුට මෙහි නැත ඉඩ.

සෙබළ යනු යුධ පිටියට
රැගෙන එනු මුර බට සැම
රජුට මිස අන් දන හට
නොමැත තර්ජන මිහිමත

රජු වනසන්න පෙරදින
කළ කුමන්ත්‍රණ එළිවිය
තව බලා නොසිටව
යවව උන් සැම දඟ ගෙට

සෙබළ යනු යුධ පිටියට
හද සාක්කිය නැසුමට
නුඹ පුතුගෙ හිස දන් දී
රජ පරපුරම තැනුමට

Tuesday, February 9, 2010

දම් දීපය...














පිරුණු සිර ගෙවල්
තැන තැන විසිර 'තුණු බහන්
රැගෙන අවි අතින් ගොදුරට
ඇදෙන මුර බලුන්....

අඳෝනා නැගේ පුරදොර
පිරුණු අවමඟුල්
අහෝ ! කොතැනටද හෙට අප
ඇදෙනු මේ ලෙසින්...

Sunday, February 7, 2010

සිර ගත වීම...



















දෙන්න මට අසිපත
සිඳින්නම් මම ගෙල
වැතිර නුඹ හා
ඔහු මත්ව ඇති මොහොතක....
එවිට අපි නිදහස්.....
.
.
.
.
.
නෑ
එවිට ඔහු නිදහස්...
මම සිරගත වෙමි
නුඹ තවෙකකුට දෙන තුරු
ඒ අසිපත...

Friday, February 5, 2010

පරණ පොත



කියවා බලා
සැරයක් දෙකක්
විසිකර දැමූ
පරණම පොතක්....
 
පිය ගැට පෙලේ
හැපුණා ඇඟේ...
රවමින් බණී
හිමිකරු ඇගේ..
 
යුධයෙන් දිනූ
විරුවෙක් වගේ
නොදොඩා මුවින්
පිටවන්නෙමී..