Wednesday, December 5, 2018

ආපසු හැරී බැලූවෙමි මම....




















 
තරඟයට වැද....
ගිණි ගැණුනු බිම
ගිමන් බිඳකුදු
නොලද්දෙමි මම....

ඇඟිලි අතරින්
සෙමින් ගිලිහී..
බිමට වැටෙනා
බොහෝ දෑ මැද

නුඹත් මාගෙන්
මිදී ගොස් වග
මෙතක් වනතුරු 
නොදුටුවෙමි මම....

හෙටත් ආයෙත්
පායන්න සඳ....
මටත් බිඳුවක් 
සිනා අරගෙන....

මග වැටී බිම
මියෙන්නට යන
පුංචි කුමුද්ද
අහුලගමි මම....

Saturday, August 25, 2018

අසම්මත පෙම


                    අසම්මත වෙන්න ඇති
සම්මතය බිඳ දමා
පටලවා ගත් නිසා අපේ අත්.....
 
ඒ වුනත්...

සම්මතය රැකගන්න
බිඳගත්තෙ
කවුරුන් ද
සෙනේ සිත්.....

 

Wednesday, May 16, 2018

සමුගැන්ම.....

        
 


















 
සාර සියක් ගව් දුර අහස දිදුලන
නීල තරු එළිය නුඹ සිතට කොඳුරන
දෑල දෙකෙලවර හිස් අහස එක් කළ
ඈත මිරිඟුවද ප්‍රේමය දළුලන

බාල වදන් විස කටු ඇනී වණ වුන
පාළු සිත රිදෙන තැන් සොයා සනසන
වාරු දී සිතට ජීවිතය පවසන
නීල නෙත් හඬන රැයකටද ඇරයුම

පාළු මකන්නට ඉඩ තබා ඇඳුරට
ඈත හිරු ගිලෙන විට ගාලු මුවදොර
හීන පැතුම් පුරවා හදේ ඉකිලන
ප්‍රේමය කිමද ඵල හිත යටම ගොලුවුන

හාදු තබා පැතුමක ඉරුණු කෙලවර
දෑස පිරුණු කඳුළු බිංදු සඟවාන
යළිදු හමුනොවන වග හොඳින් දැන දැන
කෙලෙස සමුගමිද සිත තබා නුඹ ළඟ

Tuesday, March 10, 2015

මිරිඟු පෙම


















 
සිත් පිල්කඩ ඔබ නැවතී 
සිනාසෙයි දොඩමළු වෙයි.
ඔබ එනතුරු 
දොරගුළු හැර 
පිල් දොර ලඟ 
බලා සිටි සිතට දැන් වෙහෙසයි.

ඇත්තමයි 
මට තිබුණෙ 
ඔබ ඇවිත් තට්ටු කරනා තුරුම 
දොර නෑර ඉඳින්නයි.

Monday, September 3, 2012

ගොවි පුතාගේ අඬහැරය


ජාතියේ මහා රජු
දෙපා මුල දණ හොවා
ගොවි පුතා ඉකි ගසා වැලපුනා.
මදුරු මැසි කැල වැදී
උලා කෑ වසන්නේ
කැබැලි පෙන්නමින් ඔහු වැලපුනා.
ණය දුන්නු උතුමන්ගෙ
පොලු පහරවල් වැදුනු
දෙපා පෙන්වමින් ඔහු වැලපුනා.
 
රටම සශීක‍යැයි
කට දෙඩූ ඇමතියන්
උනුන් මුව බලාගෙන ගොලුවුනා
 
"ගොවි තැනට යෙදිය උත්තේ
පුෂ්ටිමත් මිනිසුන්ම පමණක් ය."
පුරෝහිත රජු කනට
කර හිමින් පැවසුවා.
"නැති ප්‍රශ්න මවා දෙන
වැරදි මත පතුරුවන
මූ දේශ ද්‍රොහියෙක්"
මුර ඇමති අඩු යමක් එක් කළා
 
පස්වනක් ප්‍රීතියෙන්
පිනා ගිය රජතුමා
සුදුසු කර්මාන්තේ පමණක්ම යෙදෙන්නට
ගොවි පුතුට අණ කළා.
දේශයට ද්‍රෝහි වී
වැරදි කර්මාන්තේ යෙදි පවට
විසි වසක් දඟ ගෙටත්
යොමු කළා.
 

Thursday, September 9, 2010

පුතු.......


අහස උසට
නැගුන පැතුම්
එකින් එකට
බිඳෙන කලට
දින දින
දෙපසට යන අප
එකට තබා
බඳින රැහැන
 

Monday, September 6, 2010

වෙසඟන....

  

මතකය අතර සිරවී....
එබෙයි යළි යළි - පතුලටම සිත....
 
පොලවේ ගසා - පොඩිකර
කුනු ගොඩට - විසිකර
තැබූවෙමි ගිණි කූරක්
නිම කරන්නට - මේ කරුමය...
 
අනේ ආයෙත් ඇවිදින්...
මගේ යහනට - නිදන බිරිඳට නොපෙනී
අත ගායි හිස....
 
එක දවසක වෙනසකට
අතිනුත් මුදල් දී
සින්නක්කරම
ගත් හැටි
මම මේ දවන මතකය....
 

Saturday, August 28, 2010

පුවත් කියන්නී....


ගලවා තනපට
හිමිහිට....
නොදැනී බිරිඳට
රහසෙම....
සුව දුන් සොඳුරිය...

ලොව දහසක් තතු
කියවන
කඩිසර.....
නුඹෙ වදනක්වත් නොඇසෙන
රඟ මට...

කෝ නුඹ අද...
විමසයි නෙත...
 
රහසකි තවමත්
සඟවන බිරිඳට එය.....

වෙනදා රස රෑ පුවත්
අපුල වූ රඟ...
 

Monday, August 23, 2010

කූඩුව


අනූශාට කියන්න තරහා නම් නෑ මම
ඉස්සර වගෙ ආදරයෙන් කතා නොකෙරුවට
නුඹත් වැරදි කළා තමයි.
මමත් නිවැරදී ම නොවෙයි.
ඒත් ඉතින් හැළුනු කිරට හඬා ඵලක් නෑ.

මමත් නුඹ වගේම තමයි.
හිත පුරවන් මහා පැතුම්
තනා ගත්තෙ මේ කූඩුව.
යන එන කන බොන හැමතැන
හිස තියාන ඒ කූඩුව
මම යන්නේ ගමන් බිමන්

අද බලද්දී ජීවිතයම
මහා බරක්.

අද නුඹ ලඟ තමයි අනූ
ඉස්සෙල්ලම
බිමින් තිබ්බෙ මම ඒ බර.

ඒකයි ලොකු සැහැල්ලුවක්
වගේ දැනුනෙ මගේ සිතට.

ඉස්සර අපි අත් බැඳගෙන
මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලයෙ
වගේ පෙමක් නොදැනුනාට
මට දැනුණා සැහැල්ලුවක්.

ඒ උණාට අද හවසට
මම යන්නේ
හිත පුරවන් තවත් බරක්.

Saturday, August 21, 2010

අවසරයි..!



















අවසරයි..!

ඉතින් පියඹා යන්න
තටු ලැබුණු
සමනළයකු විලස.

හැර දමා
හිමි නොමැති
බිදී ගිය
මේ නිවස.

හැර දමා
දුර ඇදෙන
සැම විලස...
තටු රිදුණු
පසු දිනක
වැටී මිය ඇදෙන්නට
මට ඉඩක් තියේවිද
නුඹ අසල...