Monday, June 29, 2020

හැකිය මට ඉන්න


ඉඳහිටක දැනුනාට
මගෙ හිතට මහම මහ තනිකමක්
ලේ නහර කිති කවා
ඇට මිදුළු පුරා විඳි හුරුකමක්
සඳ නොමැති මහ රෑක
කණමැදිරි එලිය බිදකින් උනත්
හැකිය මට ඉන්න -
නුඹ හැර දමා යන්නම ගියත්

හඬන විට දෙනෙතකට
කඳුළු පිසිනට අතක් ලග නැතත්
හිත නොමැත ඉගිලෙන්න,
හුරු පුරුදු සොදුරු අහසක් උනත්
මග දෙපස සෙනග මැද
නුහුරු හිස් කමක් දැනුනත් නැතත්
හැකිය මට ඉන්න -
කළුවරම රැයක තනියම උනත්

හිත බිඳෙන යළි හැදෙන -
පණ අදින ආදරය ඉව කරන්
නොනැවතී යන්න නුඹ,
නුඹට හුරු කූඩුවට මග සොයන්
උණුසුම් ව නිදියන්න
රළුම රළු උරහිසක තෙතු පියන්
හැකිය මට ඉන්න -
නුඹ නැවත එන්නේම නැති උනත්
 

No comments:

Post a Comment