Thursday, July 16, 2020

යශෝදරා



මතු බුදු වන තුරු ම 
සිදුහත් හිමි සඳට
මඟට පාවඩ එලා අතුරන
හිත රිදෙන බිඳෙන තැන්
වසා සඟවා තනිව
දුක් ගැහැට කම්කටොලු ඉවසන...

හිරුට කලියෙන් ඇහැර
කලට වේලට උයා
හිමිට රස බත් පත බැඳ දෙන
රෙදි වේලා නවන
හැළි වළං සෝදන
මුළුතැන්ගෙයි කොනක තනිවුණ...

නියත විවරණ දෙන
ඔෆීසියෙ මිතුරනගෙ
හවස මධු සාදය ද ඉවසන
නුවර එළි ෆැක්ටරියෙ
සති අන්තෙ පුරාවට
තියෙන වැඩමුළුවලට ඉඩදෙන

දරුවනගෙ පාසලේ
හවස පන්තියේ වැඩ
කිසිවකුත් මඟනොහැර කරවන
මහාමායාවගේ 
ප්‍රෙශර් වැඩිවෙනදාට
තකහනියෙ  වෙද ගෙදර ගෙනයන

ඉඩ ලැබෙන නිමේශෙක
කන්නාඩියක් අසළ
හිස - පීරා ගොතා සැරසෙන
මඟ හැරුණු ජීවිතේ 
එක ම එක දිනක්වත්
තියේවි ද නුඹට නුඹ හමුවුණ...