Saturday, January 15, 2022

මතක තොටුපළ



මතක තොටුපළින් සමුගෙන යන්නම්
රිදුනු සිත් පමණක් අරන්
මටම හිමි නැති සිතක විරහේ
කඳුළු බර ඇයි මේ තරම්

අමාවක බිඳ අහස් කුස සඳ
නැගෙන්නට පෙර පෙති දිහා
කුමුදිනිය නුඹ තරු පොකුරු මත
හාදු තවරා හිනැහුනා

මසිත තෙත්කළ සිහිල් පැන් පොද
සබඳ ඒ ඔබගේ සෙනේ
පිපාසිත හැම දෙතොලට ම නුඹ
කිමද දිය බිඳුවක් උනේ

ආදරය...!




දැන දැන
හිමි නොවන වග අවසන
හද ගැබුරින්ම පෙම්කල
මිනිසුන්....!
කොපමණක් නම්
වීද මේ මිහිමත

අහිමිවන්නට ඉඩ දී
අන් කූඩුවක සිර වී
කඳුළු දෑසින් බලා වුන්
මිනිසුන් බොහෝ විය
හිරු සඳු අතර සිර වුණ

මියෙන තුරු හද ගැබ
ඉතිරි කර විරහේ දුක
ඒ දුකින් ජීවත් වන
ඒ රිදුමින්ම සැනහෙන
උන් ම මිස කවුරු ද
අරුත් ගැන්වූයේ
ආදරය...!