ඉඳහිටක දැනුනාට
මගෙ හිතට මහම මහ තනිකමක්
ලේ නහර කිති කවා
ඇට මිදුළු පුරා විඳි හුරුකමක්
සඳ නොමැති මහ රෑක
කණමැදිරි එලිය බිදකින් උනත්
හැකිය මට ඉන්න -
නුඹ හැර දමා යන්නම ගියත්
හඬන විට දෙනෙතකට
කඳුළු පිසිනට අතක් ලග නැතත්
හිත නොමැත ඉගිලෙන්න,
හුරු පුරුදු සොදුරු අහසක් උනත්
මග දෙපස සෙනග මැද
නුහුරු හිස් කමක් දැනුනත් නැතත්
හැකිය මට ඉන්න -
කළුවරම රැයක තනියම උනත්
හිත බිඳෙන යළි හැදෙන -
පණ අදින ආදරය ඉව කරන්
නොනැවතී යන්න නුඹ,
නුඹට හුරු කූඩුවට මග සොයන්
උණුසුම් ව නිදියන්න
රළුම රළු උරහිසක තෙතු පියන්
හැකිය මට ඉන්න -
නුඹ නැවත එන්නේම නැති උනත්
Monday, June 29, 2020
හැකිය මට ඉන්න
Wednesday, June 24, 2020
අම්මා
වරිග හතක් නිවන් යන්න
හිස මුඩු කර දන් දුන් පුතු
පහල කොටුවේ එකිත් එක්ක
දරුවෝ හතක් හැදුවේ...
මුවින් නොබැණ දුක් විඳ ගෙන
උන් කරදඬු වැඩුවේ
උඹ ම තමයි අම්මේ...
නොකා නොබී ශිල්ප පොවා
උපාධි ගෙන ගම ආ දූ
කුඩු සුමනෙගෙ පතිනිය වී
ගෙදර බින්න බැස්සේ...
නින්දා වැස්සේ තෙමි තෙමි
බෑනන්ඩිගෙ සුව බලන්න
සිර ගෙදරට වැඩියේ
උඹම තමයි අම්මේ...
ලුණු මදි වී බත ඇල් වී
මදන මතින් තිරිහන් වී
පය වරදින වරක් ගානේ
හිරි ඇර ගත් සෝමේ...
ගහෙන් වැටී ඔත්පල වී
ඇඳට වැටුනු වෙලේ ඉදන්
තෙල් සාත්තු කෙරුවේ
උඹම තමයි අම්මේ...
පෝය දාට වැට අයිනේ
දිරපු කොස් මුලේ ඉඳගෙන
යකඩ කටින් යාන්තමට
බණ අහනා අම්මේ...
මේ සසරෙන් එතෙර වෙන්න
උඹට තවත් පිං මොකටද
හිත හදාන කදුලු පිහන්
මෙහෙට වරෙන් අම්මේ...!
Subscribe to:
Posts (Atom)