Saturday, December 2, 2023

හන්තාන සෙනෙහස





හන්තාන අහස යට
මඟහැරුණ සෙනෙහසක
මම දකින හීනයම
නුඹ තවම දකිනවද
මට නුහුරු දුරු රටක
හිමි නොමැති පපුතුරක
තනිව සිරවී අදත්
ආදරය සොයනවද......!

දෙනෝදාහක් අතර
දැනෙන මේ තනිකමම
මට වගෙම ඉඳ හිටෙක
නුඹ සිතට දැනෙනවද
හදේ ගැඹුරුම තැනක
නිවී පරවී නොයන
හිත දවන හැගීමක්
නුඹ ලගත් තියෙනවද

නුවර අහසම වහන්
වැහි වැටෙන සැදෑවක
හාදුවක මුදු සුවය
ගත පිනන නිශාවක
බෙදාගත් ජීවිතේ
මිහිරිතම ඒ මතක
කොහේ දෝ සිට ඇවිත්
පාරවන හැටි මසිත

ආදරේ මග හැරෙන
හිත රිදෙන වෙලාවක
මධු විතක් අත රැඳෙන
දුක ලිහෙන නිමේෂෙක
බෙදාගත් ජීවිතේ
මිහිරිතම ඒ මතක
කොහේ දෝ සිට ඇවිත්
පාරවන හැටි මසිත


- සුදාර මුතුහෙට්ටි (2022.11)