Saturday, December 2, 2023

හන්තාන සෙනෙහස





හන්තාන අහස යට
මඟහැරුණ සෙනෙහසක
මම දකින හීනයම
නුඹ තවම දකිනවද
මට නුහුරු දුරු රටක
හිමි නොමැති පපුතුරක
තනිව සිරවී අදත්
ආදරය සොයනවද......!

දෙනෝදාහක් අතර
දැනෙන මේ තනිකමම
මට වගෙම ඉඳ හිටෙක
නුඹ සිතට දැනෙනවද
හදේ ගැඹුරුම තැනක
නිවී පරවී නොයන
හිත දවන හැගීමක්
නුඹ ලගත් තියෙනවද

නුවර අහසම වහන්
වැහි වැටෙන සැදෑවක
හාදුවක මුදු සුවය
ගත පිනන නිශාවක
බෙදාගත් ජීවිතේ
මිහිරිතම ඒ මතක
කොහේ දෝ සිට ඇවිත්
පාරවන හැටි මසිත

ආදරේ මග හැරෙන
හිත රිදෙන වෙලාවක
මධු විතක් අත රැඳෙන
දුක ලිහෙන නිමේෂෙක
බෙදාගත් ජීවිතේ
මිහිරිතම ඒ මතක
කොහේ දෝ සිට ඇවිත්
පාරවන හැටි මසිත


- සුදාර මුතුහෙට්ටි (2022.11)

Sunday, October 22, 2023

එන්න ට්‍රිප් එක යන්න….


නුඹෙ නැවුම් 'සෙන්ට්' සුවඳට
'අයන්' කර අඳින ඇඳුමට
ඉඳහිට ගෙට නොඑන රැයකට
තවත් වෙර නොබඳිමි මම
ඇත්ත
අපි දැන් දෙතැනක
එකම එක වහලක් යට
වැඩි කතා නැතුවම
නැවතුමක් දී
වෙහෙසකර ගමනට...
ඒත්…
එන්න ට්‍රිප් එක යන්න
දවසකට අතින් අල්ලා ගන්න
පොඩි උනුත් එක්ක
එකට ඉඳගෙන කන්න..
හැමෝම බලාගෙන ඉන්නෙ

Wednesday, May 24, 2023

ආදරය..!

 




බස්‍ රියේ දුරින් ගැටෙනා නෙතක
ඔෆිසියේ හොරෙන් කන බත් පතක
ඇස් වසා හිමින් අල්ලන අතක
තැවරිලා තියෙන්නෙත් ආදරය..!

යහන මත සුව ගෙනෙන හුරු ගතක
ලොවට රහසේ බැඳෙන පෙම් සිතක
අඳුරු සාදයක මත්වූ නෙතක
තැවරිලා තියෙන්නෙත් ආදරය..!

දැවි දැවී සිත තලන මතකයක
මදුවිතක් ළඟ මැවෙන බොඳ රුවක
මහ රැයක තනි මකන ඇමතුමක
තැවරිලා තියෙන්නෙත් ආදරය..!

අයිතියක් ඇති තැන ද නැති තැන ද
අත අතැර ගිලිහිය ද ළඟ රැඳෙන
අයිති කර ගැනීමක් නැති තැනක
තැවරිලා තියෙන්නෙත් ආදරය..!

- සුදාර මුතුහෙට්ටි (2023.04)

Tuesday, March 21, 2023

උසාවිය නිහඬයි



    උසාවිය නිහඬ යි
    මගේ තනි හිත විතරමයි මට
    දැවී ගිණි ගන්නා
    කූඩුවක මම - බංකුවක කොන
    නාඳුනන ලෙස නුඹ බලා ඉන්නා

    තව පුංචි මොහොතයි
    සොලොස් වසරක් අත් බැඳන් ආ
    ගමන නිම වෙන්නා

    දෑස් බැඳ නීතියේ දෙවඟන
    අපට හිනැහෙන්නා
    මගේ හද විනිවිද දකින නුඹ
    නුදුටු මේ ගිණි
    ඇයට නොහැඟෙන්නා

    ඉගිල්ලෙන්නට තනන නුඹ ලග
    තදින් දෑඟිලි බැඳන් කුමටද?
    විසල් අහසට නුඹට මග පෙන්නා
    මම මෙහි ම නවතින්නම්.....


    - සුදාර මුතුහෙට්ටි (2023)