Saturday, August 28, 2010

පුවත් කියන්නී....


ගලවා තනපට
හිමිහිට....
නොදැනී බිරිඳට
රහසෙම....
සුව දුන් සොඳුරිය...

ලොව දහසක් තතු
කියවන
කඩිසර.....
නුඹෙ වදනක්වත් නොඇසෙන
රඟ මට...

කෝ නුඹ අද...
විමසයි නෙත...
 
රහසකි තවමත්
සඟවන බිරිඳට එය.....

වෙනදා රස රෑ පුවත්
අපුල වූ රඟ...
 

Monday, August 23, 2010

කූඩුව


අනූශාට කියන්න තරහා නම් නෑ මම
ඉස්සර වගෙ ආදරයෙන් කතා නොකෙරුවට
නුඹත් වැරදි කළා තමයි.
මමත් නිවැරදී ම නොවෙයි.
ඒත් ඉතින් හැළුනු කිරට හඬා ඵලක් නෑ.

මමත් නුඹ වගේම තමයි.
හිත පුරවන් මහා පැතුම්
තනා ගත්තෙ මේ කූඩුව.
යන එන කන බොන හැමතැන
හිස තියාන ඒ කූඩුව
මම යන්නේ ගමන් බිමන්

අද බලද්දී ජීවිතයම
මහා බරක්.

අද නුඹ ලඟ තමයි අනූ
ඉස්සෙල්ලම
බිමින් තිබ්බෙ මම ඒ බර.

ඒකයි ලොකු සැහැල්ලුවක්
වගේ දැනුනෙ මගේ සිතට.

ඉස්සර අපි අත් බැඳගෙන
මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලයෙ
වගේ පෙමක් නොදැනුනාට
මට දැනුණා සැහැල්ලුවක්.

ඒ උණාට අද හවසට
මම යන්නේ
හිත පුරවන් තවත් බරක්.

Saturday, August 21, 2010

අවසරයි..!



















අවසරයි..!

ඉතින් පියඹා යන්න
තටු ලැබුණු
සමනළයකු විලස.

හැර දමා
හිමි නොමැති
බිදී ගිය
මේ නිවස.

හැර දමා
දුර ඇදෙන
සැම විලස...
තටු රිදුණු
පසු දිනක
වැටී මිය ඇදෙන්නට
මට ඉඩක් තියේවිද
නුඹ අසල...