Friday, May 22, 2020

කවියෙකුට පෙම් බැඳ...!


නින්දා කළල් ගොහොරුව
කර වටක් ගිලී මියැදෙන මට
කුමකට ද?
නුඹේ සියුමැලි කවි පද
සිත දවන.....

නෙලාගෙන සියපත
මඟ බලා සිටි මට
නුඹේ සුසුමට වැඩි
බරක් තව කොයි වෙද?

පෝරුවට කළියෙන්
යහනට පා තැබූ මට
සවි නෑ ඇවිද යන්නට
තව දුර...
ඉරී පොඩි වී ගිය
පෙති බරයි දැන් නටුවට

තාරුකා එළියෙන්
මග සොයන්නට තබා ඉඩ
නුඹම  මිස කවුරුද?
නිවා දැමුවේ පහන් සිල

රස කවි පද අතර
යොදා උපමා රූපක
කෙසේ සඟවා තබමිද?
ජීවිතේ කළුවර
කඳුළු වල සීතල

Wednesday, May 13, 2020

මිතුර



මල් පෙති ලිහෙන පරවෙන මහවැලි ඉවුරේ
මළ හිරු නිවුන හන්තානේ මද අදුරේ
හිත් ඉරිතලන ඉකිලන මතකය අතරේ
සුව නින්දක නිදන මා පෙම්බර මිතුරේ

තරුකැට වගේ දිදුලණ නෙත් යුග ගානේ
මල්වර හීන ගිලිහෙන මොහොතක් ගානේ
දිරියෙන් ජීවිතේ හැදිනූ මිතුරානේ
සන්සාරේ දුකයි අත් ගිලිහෙනවානේ...!

නැති වැඩි කතා නුඹෙ වෙහෙසුනු මුව මඩල
අදටත් පෙනේ හමුවන මිනිසුන් අතර
මහ ගිරි කුළක මුදුනක තැබු පා ලකුණ
තවමත් සොයමි විසිරුණු මතකය අතර

අන්තිම වතාවෙදි හමු වුණ සැදෑවක
යන්තම් වගේ මතකයි හඩ කතාවක
කවියක පොතක විසිරුණු දුම් වලල්ලක
අමුණනු කෙළෙස මිතුරේ ජීවිතේ දුක

ගිලිහුණු සිහිනයක කදුලක තෙත දැනෙන
අත දිග නැති දුරින් ඉද දුක සැප අසන
දුවෙකුට සුවද දෙන පෙති විදහා නැගෙන
පියෙකුගෙ මතකයත් තරුවකි මග කියන