Wednesday, May 13, 2020

මිතුර



මල් පෙති ලිහෙන පරවෙන මහවැලි ඉවුරේ
මළ හිරු නිවුන හන්තානේ මද අදුරේ
හිත් ඉරිතලන ඉකිලන මතකය අතරේ
සුව නින්දක නිදන මා පෙම්බර මිතුරේ

තරුකැට වගේ දිදුලණ නෙත් යුග ගානේ
මල්වර හීන ගිලිහෙන මොහොතක් ගානේ
දිරියෙන් ජීවිතේ හැදිනූ මිතුරානේ
සන්සාරේ දුකයි අත් ගිලිහෙනවානේ...!

නැති වැඩි කතා නුඹෙ වෙහෙසුනු මුව මඩල
අදටත් පෙනේ හමුවන මිනිසුන් අතර
මහ ගිරි කුළක මුදුනක තැබු පා ලකුණ
තවමත් සොයමි විසිරුණු මතකය අතර

අන්තිම වතාවෙදි හමු වුණ සැදෑවක
යන්තම් වගේ මතකයි හඩ කතාවක
කවියක පොතක විසිරුණු දුම් වලල්ලක
අමුණනු කෙළෙස මිතුරේ ජීවිතේ දුක

ගිලිහුණු සිහිනයක කදුලක තෙත දැනෙන
අත දිග නැති දුරින් ඉද දුක සැප අසන
දුවෙකුට සුවද දෙන පෙති විදහා නැගෙන
පියෙකුගෙ මතකයත් තරුවකි මග කියන

No comments:

Post a Comment