Saturday, April 6, 2024

ඇවිදින මංතීරුවේ නාඳුනන හිතවතිය


ඩා බිඳු නැඟෙන ගත වෙහෙසන හිමිදිරියේ
හිනැහෙන අත වනන නුපුරුදු නෙතු අතරේ
දහසක් ප්‍රශ්න පුරවාගෙන හිත් පොඩියේ
ඔරවන් බිම බලන් ඇවිදින හිතවතියේ

හිමිගෙන් කරදරද හිත රිදවාගෙනද 
දරුවන් නිසා ඔළුවට නිවනක් නැතිද
නැතිනම් ලෙඩ දුකක් හින්දා තැවුලෙන්ද
තවමත් තනිකඩ ද තනිකම රිදවා ද

සීනියි ප්‍රෙශර් තව ලෙඩ කොතෙකුත් එක්ක 
ප්‍රශ්න පුරෝගෙන ඔළු වල පොර බැද්ද 
පැයකට දෙකට මග හැර ඒ දුක් කන්ද
හවසට බාර් වල කොපමණ උන් වෙත්ද

මිහිදුම් සළු ඔතන හිරු රැස් සිපගන්න
දොල ලඟ මුමුනනා කවියට කන් දෙන්න
මට හෙට උදෙත් ඇවිදින්නට දිරි දෙන්න
මිහිරිය දුක දරන් සැරයක් හිනැහෙන්න

- සුදාර මුතුහෙට්ටි (2024.03)

Saturday, December 2, 2023

හන්තාන සෙනෙහස





හන්තාන අහස යට
මඟහැරුණ සෙනෙහසක
මම දකින හීනයම
නුඹ තවම දකිනවද
මට නුහුරු දුරු රටක
හිමි නොමැති පපුතුරක
තනිව සිරවී අදත්
ආදරය සොයනවද......!

දෙනෝදාහක් අතර
දැනෙන මේ තනිකමම
මට වගෙම ඉඳ හිටෙක
නුඹ සිතට දැනෙනවද
හදේ ගැඹුරුම තැනක
නිවී පරවී නොයන
හිත දවන හැගීමක්
නුඹ ලගත් තියෙනවද

නුවර අහසම වහන්
වැහි වැටෙන සැදෑවක
හාදුවක මුදු සුවය
ගත පිනන නිශාවක
බෙදාගත් ජීවිතේ
මිහිරිතම ඒ මතක
කොහේ දෝ සිට ඇවිත්
පාරවන හැටි මසිත

ආදරේ මග හැරෙන
හිත රිදෙන වෙලාවක
මධු විතක් අත රැඳෙන
දුක ලිහෙන නිමේෂෙක
බෙදාගත් ජීවිතේ
මිහිරිතම ඒ මතක
කොහේ දෝ සිට ඇවිත්
පාරවන හැටි මසිත


- සුදාර මුතුහෙට්ටි (2022.11)

Sunday, October 22, 2023

එන්න ට්‍රිප් එක යන්න….


නුඹෙ නැවුම් 'සෙන්ට්' සුවඳට
'අයන්' කර අඳින ඇඳුමට
ඉඳහිට ගෙට නොඑන රැයකට
තවත් වෙර නොබඳිමි මම
ඇත්ත
අපි දැන් දෙතැනක
එකම එක වහලක් යට
වැඩි කතා නැතුවම
නැවතුමක් දී
වෙහෙසකර ගමනට...
ඒත්…
එන්න ට්‍රිප් එක යන්න
දවසකට අතින් අල්ලා ගන්න
පොඩි උනුත් එක්ක
එකට ඉඳගෙන කන්න..
හැමෝම බලාගෙන ඉන්නෙ

Wednesday, May 24, 2023

ආදරය..!

 




බස්‍ රියේ දුරින් ගැටෙනා නෙතක
ඔෆිසියේ හොරෙන් කන බත් පතක
ඇස් වසා හිමින් අල්ලන අතක
තැවරිලා තියෙන්නෙත් ආදරය..!

යහන මත සුව ගෙනෙන හුරු ගතක
ලොවට රහසේ බැඳෙන පෙම් සිතක
අඳුරු සාදයක මත්වූ නෙතක
තැවරිලා තියෙන්නෙත් ආදරය..!

දැවි දැවී සිත තලන මතකයක
මදුවිතක් ළඟ මැවෙන බොඳ රුවක
මහ රැයක තනි මකන ඇමතුමක
තැවරිලා තියෙන්නෙත් ආදරය..!

අයිතියක් ඇති තැන ද නැති තැන ද
අත අතැර ගිලිහිය ද ළඟ රැඳෙන
අයිති කර ගැනීමක් නැති තැනක
තැවරිලා තියෙන්නෙත් ආදරය..!

- සුදාර මුතුහෙට්ටි (2023.04)

Tuesday, March 21, 2023

උසාවිය නිහඬයි



    උසාවිය නිහඬ යි
    මගේ තනි හිත විතරමයි මට
    දැවී ගිණි ගන්නා
    කූඩුවක මම - බංකුවක කොන
    නාඳුනන ලෙස නුඹ බලා ඉන්නා

    තව පුංචි මොහොතයි
    සොලොස් වසරක් අත් බැඳන් ආ
    ගමන නිම වෙන්නා

    දෑස් බැඳ නීතියේ දෙවඟන
    අපට හිනැහෙන්නා
    මගේ හද විනිවිද දකින නුඹ
    නුදුටු මේ ගිණි
    ඇයට නොහැඟෙන්නා

    ඉගිල්ලෙන්නට තනන නුඹ ලග
    තදින් දෑඟිලි බැඳන් කුමටද?
    විසල් අහසට නුඹට මග පෙන්නා
    මම මෙහි ම නවතින්නම්.....


    - සුදාර මුතුහෙට්ටි (2023)


Saturday, January 15, 2022

මතක තොටුපළ



මතක තොටුපළින් සමුගෙන යන්නම්
රිදුනු සිත් පමණක් අරන්
මටම හිමි නැති සිතක විරහේ
කඳුළු බර ඇයි මේ තරම්

අමාවක බිඳ අහස් කුස සඳ
නැගෙන්නට පෙර පෙති දිහා
කුමුදිනිය නුඹ තරු පොකුරු මත
හාදු තවරා හිනැහුනා

මසිත තෙත්කළ සිහිල් පැන් පොද
සබඳ ඒ ඔබගේ සෙනේ
පිපාසිත හැම දෙතොලට ම නුඹ
කිමද දිය බිඳුවක් උනේ

ආදරය...!




දැන දැන
හිමි නොවන වග අවසන
හද ගැබුරින්ම පෙම්කල
මිනිසුන්....!
කොපමණක් නම්
වීද මේ මිහිමත

අහිමිවන්නට ඉඩ දී
අන් කූඩුවක සිර වී
කඳුළු දෑසින් බලා වුන්
මිනිසුන් බොහෝ විය
හිරු සඳු අතර සිර වුණ

මියෙන තුරු හද ගැබ
ඉතිරි කර විරහේ දුක
ඒ දුකින් ජීවත් වන
ඒ රිදුමින්ම සැනහෙන
උන් ම මිස කවුරු ද
අරුත් ගැන්වූයේ
ආදරය...!

Thursday, July 16, 2020

යශෝදරා



මතු බුදු වන තුරු ම 
සිදුහත් හිමි සඳට
මඟට පාවඩ එලා අතුරන
හිත රිදෙන බිඳෙන තැන්
වසා සඟවා තනිව
දුක් ගැහැට කම්කටොලු ඉවසන...

හිරුට කලියෙන් ඇහැර
කලට වේලට උයා
හිමිට රස බත් පත බැඳ දෙන
රෙදි වේලා නවන
හැළි වළං සෝදන
මුළුතැන්ගෙයි කොනක තනිවුණ...

නියත විවරණ දෙන
ඔෆීසියෙ මිතුරනගෙ
හවස මධු සාදය ද ඉවසන
නුවර එළි ෆැක්ටරියෙ
සති අන්තෙ පුරාවට
තියෙන වැඩමුළුවලට ඉඩදෙන

දරුවනගෙ පාසලේ
හවස පන්තියේ වැඩ
කිසිවකුත් මඟනොහැර කරවන
මහාමායාවගේ 
ප්‍රෙශර් වැඩිවෙනදාට
තකහනියෙ  වෙද ගෙදර ගෙනයන

ඉඩ ලැබෙන නිමේශෙක
කන්නාඩියක් අසළ
හිස - පීරා ගොතා සැරසෙන
මඟ හැරුණු ජීවිතේ 
එක ම එක දිනක්වත්
තියේවි ද නුඹට නුඹ හමුවුණ...


Monday, June 29, 2020

හැකිය මට ඉන්න


ඉඳහිටක දැනුනාට
මගෙ හිතට මහම මහ තනිකමක්
ලේ නහර කිති කවා
ඇට මිදුළු පුරා විඳි හුරුකමක්
සඳ නොමැති මහ රෑක
කණමැදිරි එලිය බිදකින් උනත්
හැකිය මට ඉන්න -
නුඹ හැර දමා යන්නම ගියත්

හඬන විට දෙනෙතකට
කඳුළු පිසිනට අතක් ලග නැතත්
හිත නොමැත ඉගිලෙන්න,
හුරු පුරුදු සොදුරු අහසක් උනත්
මග දෙපස සෙනග මැද
නුහුරු හිස් කමක් දැනුනත් නැතත්
හැකිය මට ඉන්න -
කළුවරම රැයක තනියම උනත්

හිත බිඳෙන යළි හැදෙන -
පණ අදින ආදරය ඉව කරන්
නොනැවතී යන්න නුඹ,
නුඹට හුරු කූඩුවට මග සොයන්
උණුසුම් ව නිදියන්න
රළුම රළු උරහිසක තෙතු පියන්
හැකිය මට ඉන්න -
නුඹ නැවත එන්නේම නැති උනත්
 

Wednesday, June 24, 2020

අම්මා

වරිග හතක් නිවන් යන්න
හිස මුඩු කර දන් දුන් පුතු
පහල කොටුවේ එකිත් එක්ක
දරුවෝ හතක් හැදුවේ...
මුවින් නොබැණ දුක් විඳ ගෙන
උන් කරදඬු වැඩුවේ
උඹ ම තමයි අම්මේ...

නොකා නොබී ශිල්ප පොවා
උපාධි ගෙන ගම ආ දූ
කුඩු සුමනෙගෙ පතිනිය වී
ගෙදර බින්න බැස්සේ...
නින්දා වැස්සේ තෙමි තෙමි
බෑනන්ඩිගෙ සුව බලන්න
සිර ගෙදරට වැඩියේ
උඹම තමයි අම්මේ...

ලුණු මදි වී බත ඇල් වී
මදන මතින් තිරිහන් වී
පය වරදින වරක් ගානේ
හිරි ඇර ගත් සෝමේ...
ගහෙන් වැටී ඔත්පල වී
ඇඳට වැටුනු වෙලේ ඉදන්
තෙල් සාත්තු කෙරුවේ
උඹම තමයි අම්මේ...

පෝය දාට වැට අයිනේ
දිරපු කොස් මුලේ ඉඳගෙන
යකඩ කටින් යාන්තමට
බණ අහනා අම්මේ...
මේ සසරෙන් එතෙර වෙන්න
උඹට තවත් පිං මොකටද
හිත හදාන කදුලු පිහන්
මෙහෙට වරෙන් අම්මේ...!

Friday, May 22, 2020

කවියෙකුට පෙම් බැඳ...!


නින්දා කළල් ගොහොරුව
කර වටක් ගිලී මියැදෙන මට
කුමකට ද?
නුඹේ සියුමැලි කවි පද
සිත දවන.....

නෙලාගෙන සියපත
මඟ බලා සිටි මට
නුඹේ සුසුමට වැඩි
බරක් තව කොයි වෙද?

පෝරුවට කළියෙන්
යහනට පා තැබූ මට
සවි නෑ ඇවිද යන්නට
තව දුර...
ඉරී පොඩි වී ගිය
පෙති බරයි දැන් නටුවට

තාරුකා එළියෙන්
මග සොයන්නට තබා ඉඩ
නුඹම  මිස කවුරුද?
නිවා දැමුවේ පහන් සිල

රස කවි පද අතර
යොදා උපමා රූපක
කෙසේ සඟවා තබමිද?
ජීවිතේ කළුවර
කඳුළු වල සීතල

Wednesday, May 13, 2020

මිතුර



මල් පෙති ලිහෙන පරවෙන මහවැලි ඉවුරේ
මළ හිරු නිවුන හන්තානේ මද අදුරේ
හිත් ඉරිතලන ඉකිලන මතකය අතරේ
සුව නින්දක නිදන මා පෙම්බර මිතුරේ

තරුකැට වගේ දිදුලණ නෙත් යුග ගානේ
මල්වර හීන ගිලිහෙන මොහොතක් ගානේ
දිරියෙන් ජීවිතේ හැදිනූ මිතුරානේ
සන්සාරේ දුකයි අත් ගිලිහෙනවානේ...!

නැති වැඩි කතා නුඹෙ වෙහෙසුනු මුව මඩල
අදටත් පෙනේ හමුවන මිනිසුන් අතර
මහ ගිරි කුළක මුදුනක තැබු පා ලකුණ
තවමත් සොයමි විසිරුණු මතකය අතර

අන්තිම වතාවෙදි හමු වුණ සැදෑවක
යන්තම් වගේ මතකයි හඩ කතාවක
කවියක පොතක විසිරුණු දුම් වලල්ලක
අමුණනු කෙළෙස මිතුරේ ජීවිතේ දුක

ගිලිහුණු සිහිනයක කදුලක තෙත දැනෙන
අත දිග නැති දුරින් ඉද දුක සැප අසන
දුවෙකුට සුවද දෙන පෙති විදහා නැගෙන
පියෙකුගෙ මතකයත් තරුවකි මග කියන

Thursday, January 30, 2020

විමලේ.......


වැඩ ඇරී ගෙදර ආවම
තේ එකක් ළඟට ගේන්න
හිසරදේ හැදී නිදද්දි
පැනඩෝල් දෙකක් පොවන්න

මඟ හැරුණු දේ බෝමයි
මට තිබුණ ටිකක් හිතන්න...

කොයි තරම් පැන් ලූවත්
මල් පිපෙන් නැති පඳුරක
අපි අහපු අර කතාව
සැබෑ වේ යැයි සිතුණි ද...?

සුදු පැහැ ගැණුනු කෙස් රොද
සසර මඟ සිහි කෙරුණි ද...?
උදුරපු පණු දතක්වත්
කළකිරීමක් දුන්න ද...?

වැඩ වැඩියි ඔලුව විකාර
වචන වරදිනව නිතරම
ඒ උණත් විමලෙ තාමත්
උඹ නිසයි පපුව ගැහෙන්නෙ

ජීවිතේ දුර්ග විමානෙ
බෑ නොකිය කන්ද නගින්න
ආයෙමත් එන්න විමලේ
සාරියේ කට්ට ගහන්න....

Saturday, September 14, 2019

ජීවිතය


තාමත් තරුණ හිත යට
හිමින් ගොණු කර තියා
හසරැල්ලක පහස....
දල්වාගෙන නෙත් පහන
බලා ගෙන ඉඳ ඇඳ ළඟ
කළුවරට ඉඩ දී නුඹ යයි
පුතු අතින් එල්ලාගෙන....
නොහලා එකම කඳුලක්
මට පෙනෙන්නට..
 
හැමදාටම නුඹ ළඟ - ගොළුයි මම
කියා ගන්නට බැරිව
සිව් වසකින්;
තිස් වසරකට ගොණු කල
මගේ කවි...
 
ගෙන දී වේදනා..
හිස යට වැඩෙන මස් දලු
තෙරපන විට නහර....
නුඹ වුවණ - පුතු මදහස
සිහින් එළියක් පෙන්වයි
කළුවරම මේ ඉම තුළ.

සසර මඟ වල් වැද සිටි මට...
නුඹ දෙපල මිස
කවුරුන්ද.....?
පෙන්වූයේ පහන් ටැඹ
 
හැමදාම හවසට
නුඹ ගිය පසු
ඇවිදින් ඇඳ ළඟට
තනි රකියි මරණය
කතා කරයි - යන්න...
වේදනා නැති ලොවකට
 
සිහිව....
හෙට උදේ ඇඳ ළඟට එන නුඹ නෙත
විදිමි මේ වේදනා තව තව
නැත හඬන්නට කාරන
නුඹ වුවණ - පුතු මදහස
සිහින් එළියක් පෙන්වයි
කළුවරම මේ ඉම තුළ.

Thursday, May 16, 2019

පාඩමක් ඇත තව, පොත පතේ ලියන්නට බැරි වුන

        
 


















 
ඇති බොහෝ ඇසූ පිරූ තැන් - කියවූ පොත් නොහැර එකක්
මිනිසුන් බොහොමයක් නුඹ වන්
මහමග පසෙක ඇති - පුංචි පඳුරක් දැක
මවා ගෙන මහ ගසක්
සිතා අහුරාවි යැයි මඟ
වනසනු සිතා එය
හැපෙයි ඒ මත...
 
පුංචිම කුහුඹුවා - දැක එය
සිනාසී පිළිගෙන
යයි ඒ පඳුර මඟහැර
උගෙ ගමන...
 
එන්න එක දවසක
අපි යමු අතහැර දමා - මේ සැම...
එක් පාඩමක් ඇත තව ඉගෙනගන්නට...
පොත පතේ ලියන්නට බැරි වුන.
 
ඇල දොල ගහකොළ
මදනළ
විතරමයි දන්නේ එය...
ඉගෙන ගන්නා තුරු එය
සම්පූර්ණ නෑ ජීවිතය..

Wednesday, December 5, 2018

ආපසු හැරී බැලූවෙමි මම....




















 
තරඟයට වැද....
ගිණි ගැණුනු බිම
ගිමන් බිඳකුදු
නොලද්දෙමි මම....

ඇඟිලි අතරින්
සෙමින් ගිලිහී..
බිමට වැටෙනා
බොහෝ දෑ මැද

නුඹත් මාගෙන්
මිදී ගොස් වග
මෙතක් වනතුරු 
නොදුටුවෙමි මම....

හෙටත් ආයෙත්
පායන්න සඳ....
මටත් බිඳුවක් 
සිනා අරගෙන....

මග වැටී බිම
මියෙන්නට යන
පුංචි කුමුද්ද
අහුලගමි මම....

Saturday, August 25, 2018

අසම්මත පෙම


                    අසම්මත වෙන්න ඇති
සම්මතය බිඳ දමා
පටලවා ගත් නිසා අපේ අත්.....
 
ඒ වුනත්...

සම්මතය රැකගන්න
බිඳගත්තෙ
කවුරුන් ද
සෙනේ සිත්.....

 

Wednesday, May 16, 2018

සමුගැන්ම.....

        
 


















 
සාර සියක් ගව් දුර අහස දිදුලන
නීල තරු එළිය නුඹ සිතට කොඳුරන
දෑල දෙකෙලවර හිස් අහස එක් කළ
ඈත මිරිඟුවද ප්‍රේමය දළුලන

බාල වදන් විස කටු ඇනී වණ වුන
පාළු සිත රිදෙන තැන් සොයා සනසන
වාරු දී සිතට ජීවිතය පවසන
නීල නෙත් හඬන රැයකටද ඇරයුම

පාළු මකන්නට ඉඩ තබා ඇඳුරට
ඈත හිරු ගිලෙන විට ගාලු මුවදොර
හීන පැතුම් පුරවා හදේ ඉකිලන
ප්‍රේමය කිමද ඵල හිත යටම ගොලුවුන

හාදු තබා පැතුමක ඉරුණු කෙලවර
දෑස පිරුණු කඳුළු බිංදු සඟවාන
යළිදු හමුනොවන වග හොඳින් දැන දැන
කෙලෙස සමුගමිද සිත තබා නුඹ ළඟ

Tuesday, March 10, 2015

මිරිඟු පෙම


















 
සිත් පිල්කඩ ඔබ නැවතී 
සිනාසෙයි දොඩමළු වෙයි.
ඔබ එනතුරු 
දොරගුළු හැර 
පිල් දොර ලඟ 
බලා සිටි සිතට දැන් වෙහෙසයි.

ඇත්තමයි 
මට තිබුණෙ 
ඔබ ඇවිත් තට්ටු කරනා තුරුම 
දොර නෑර ඉඳින්නයි.

Monday, September 3, 2012

ගොවි පුතාගේ අඬහැරය


ජාතියේ මහා රජු
දෙපා මුල දණ හොවා
ගොවි පුතා ඉකි ගසා වැලපුනා.
මදුරු මැසි කැල වැදී
උලා කෑ වසන්නේ
කැබැලි පෙන්නමින් ඔහු වැලපුනා.
ණය දුන්නු උතුමන්ගෙ
පොලු පහරවල් වැදුනු
දෙපා පෙන්වමින් ඔහු වැලපුනා.
 
රටම සශීක‍යැයි
කට දෙඩූ ඇමතියන්
උනුන් මුව බලාගෙන ගොලුවුනා
 
"ගොවි තැනට යෙදිය උත්තේ
පුෂ්ටිමත් මිනිසුන්ම පමණක් ය."
පුරෝහිත රජු කනට
කර හිමින් පැවසුවා.
"නැති ප්‍රශ්න මවා දෙන
වැරදි මත පතුරුවන
මූ දේශ ද්‍රොහියෙක්"
මුර ඇමති අඩු යමක් එක් කළා
 
පස්වනක් ප්‍රීතියෙන්
පිනා ගිය රජතුමා
සුදුසු කර්මාන්තේ පමණක්ම යෙදෙන්නට
ගොවි පුතුට අණ කළා.
දේශයට ද්‍රෝහි වී
වැරදි කර්මාන්තේ යෙදි පවට
විසි වසක් දඟ ගෙටත්
යොමු කළා.